Sunday, April 25, 2010

අනූ බොහොම ආදරෙයි..

අයෙත් සැරයක් කියන්නේ අනූ එයාගේ පාසලට හරිම ආදරෙයි. මලියදෙව බාලිකාවක් නොතිබ්බානම් අනූ කෙනෙක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ වගේම අනූට හිටිය යාළුවෝ නොහිටියානම් අනූගේ අරමුණු වෙනස් වෙන්නත් තිබ්බා.

අනූගේ පරණ යාළුවෝ වගේම අනූ බ්ලොග් ලිවීම හරහා අඳුන ගත්ත යාළුවොත් බොහොමයි. නිදි මත එන්න නොදී වතුර ගහලා දුන්න උදව් වලට බොහෝම ස්තූතියි.

අන්තිමට කියන්න තියෙන්නේ අඳුනන, නාඳුනන, දුටු , නොදුටු යාළුවෝ හැමෝටම අනූ බොහොම ආදරෙයි.

අම්මාටයි අප්පචීටයි ගොඩාක් ආදරෙයි

අනූට ගෙදර යන්න, අම්මා අප්පච්චී එක්ක ඉස්සර වගේ කතා කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අම්මා නම් කෑගහනවා අනූට "මොකද්ද ළමයෝ ඔය ජීවිතේ කියලා".

අම්මයි අප්පච්චියි අනූ නිසා කල කැප කිරීම් එමටයි. අදටත් අනූට තියෙන වැඩ නිසා අම්මාටයි අප්පච්චීටයි විනෝද ගමනක්වත් යන්න විදියක් නැහැ. අනූ වගේම කියවන අයත් මේ වගේ කියලා අනූ හිතනවා. ඉස්සර වගේ නිතරම කිව්වේ නැතත් අනූ "අම්මාටයි අප්පචීටයි ගොඩාක් ආදරෙයි".

ආ මග..

අනූ දැන් තෙවන වසර ඉංජිනේරු ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නේ පරිඝනක විද්‍යාව හා ඉංජිනේරු අංශයේ. මේ දවස් වල නම් ඉන්නෙ තාක්ෂණික පුහුණුව සඳහා විශ්ව විද්‍යාලයෙන් බැහැර.

පුංචි කාලේ ගැන හිතන කොට නම් ගොඩක් සතුටුයි. මඟ ඇරුණු කතන්දර නම් බොහොමයි. මම ලිව්වේ මගේ සතුටටයි. ලිව්ව දේවල අර්ථයක් නැති වෙන්නත් පුලුවන්. එත් කියවන අයට තමන්ගේ පුංචි කාලේ මතක් පොඩ්ඩක් හරි මතක් වුනා නම් අනූ සාර්ථකයි.

අනූ හැමෝටම කියන්නේ ආ මග අමතක නොකර හොඳින් මතක තියා ගන්නයි. ජීවිතේ දුක හිතුන හැම වෙලාවෙම අතීතයේ මිහිරි මතක මතක් කර ගන්නයි. ඒ මතක අනූගේ වගේම හමෝගේම මලානික කර්යබහුල ජීවිතය වර්ණවත් කරාවි.

සැබෑවුන සිහිනය..

අන්තිමට අනූ අම්මාගෙයි අප්පච්චිගෙයි හීනයක් හැබෑ කලා. අනූ උසස් පෙල සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් ලැබුවා ඒ උසස් පෙළ ගණිත අංශයෙන් කරන ගොඩක් දෙනෙක්ගේ සිහින විශ්ව විද්‍යාලයට.කතාවට නම් කියන්නේ මෙහේ ඉන්නේ "සාරයෙත් සාරය" කියලා.

එදා අම්මාගෙයි අප්පච්චිගෙයි සතුට කියලා නිම කරන්න බැරි තරම්. අම්මා කවදාවත් අනූට කෑම නොදී පාසැල් යවලා නැහැ. අප්පච්චිත් අනූ රෑ නිදි වරාගෙන පාඩම් කරනකොට නිදාගෙන නැහැ. ඒ වෙනුවෙන් අනූට අම්ම්යි අප්පච්චියි සතුටු කරන්න ලැබුන එක ලොකු සතුටක්.

බොඳ වුනු හීනය..

අනූ උසස් පෙළට කරන විශය තෝරන එක ප්‍රශ්නයක් වුනා. අප්පච්චියි අම්මායි දෙන්නම කැමති වුනේ අනූ ජීව විද්‍යාව කරනවාට. ඒත් අන්තිමට දෙන්නම කැමති වුනා අනූගේ කැමත්තට.

අනූ ටිකක් කම්මැලියි පාඩම් කරන්න අනූගේ අම්මා බලෙන් වගේ තමයි අනූව පාඩම් කෙරෙව්වේ. අන්තිමට බැරිම තැන අම්මා අනූට කිව්වා "අම්මා අප්පච්චි වෙනුවෙන් පාඩම් කරන්න" කියලා. ඒක නම් අනූගේ හිතට තදින්ම වැදුනා.

ඒත් ප්‍රතිඵල ආවාම තමයි අනූට තේරුනේ එයා ගැන හැමෝම බලාපොරොත්තු තියාගෙන හිටි බව. ජීවිතේ පළමුවෙනි පාරට අනූට එයාගේ ඉලක්කය වෙත යන්න බැරිවුනා. එත් අනූ සැලුනේ නැහැ.

අප්පච්චී, විශ්ව විද්‍යාලය මොන වගේද?..

අනූගේ අප්පච්චී අනූ පුංචි කාලේ නිතරම අප්පච්චිගේ විශ්ව විද්‍යාලය ගැන විස්තර කියනවා. දවසක් පුංචි අනූ එක පාරටම ඇහුවා "අප්පච්චී, විශ්ව විද්‍යාලය මොන වගේද?" කියලා.

අප්පච්චි දුන්නු උත්තරේ තමයි "ඒක අමුතුම ලෝකයක්, ගිහිල්ලාම බලන්න ඔනේ" කියලා.

ඒ උත්තරේ අනූගේ හිතේ කාවැදිලයි තිබ්බේ. අනූ එදා හිතා ගත්තා කොහොම හරි විශ්ව විද්‍යාලට යනවා කියලා.
පුංචි ළමයි එක්ක වැඩ කරන්නේ බොහොම පරිස්සමෙන්. හිතේ දෙයක් කාවැදුනොත් ආයෙත් වෙනස් කරන්න බැහැ.

පුංචි ළමයි අයිති ගෙදරටයි..

අනූගේ අයියා අනූ පුංචි කාලේ ඉඳලාම ගෙදරින් පිටයි හැදුනේ. එයා ගෙදර ආවම අනූට එයා අමුත්තෙක් වගේ. අනූගේ අම්මලා එයාව ගෙදරින් පිට තිබ්බ එක ගැන දුක් නොවෙනවා නෙමෙයි. අනූට හිතා ගන්න බැහැ එයාට නේවාසිකාගාරයේ දිගටම ඉන්න වුනා නම් මොනවා වෙයිද කියලා. ආයියාත් නිවාඩුවට ඇවිත් යද්දි හොඳටම ඇඬුවා. එත් ගෙදර ඉඳලා එයගේ පාසලට යන්න වෙන ක්‍රමයක් තිබුනේ නැහැ.

අනූ නම් හිතන්නේ පුංචි ළමයි අයිති ගෙදරටයි කියලා. ගෙදරට වඩා වෙන තැනක් කොහේද? ඒකනේ ඒකට ගෙදර කියන්නේ.