Sunday, April 25, 2010

අනූ බොහොම ආදරෙයි..

අයෙත් සැරයක් කියන්නේ අනූ එයාගේ පාසලට හරිම ආදරෙයි. මලියදෙව බාලිකාවක් නොතිබ්බානම් අනූ කෙනෙක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ වගේම අනූට හිටිය යාළුවෝ නොහිටියානම් අනූගේ අරමුණු වෙනස් වෙන්නත් තිබ්බා.

අනූගේ පරණ යාළුවෝ වගේම අනූ බ්ලොග් ලිවීම හරහා අඳුන ගත්ත යාළුවොත් බොහොමයි. නිදි මත එන්න නොදී වතුර ගහලා දුන්න උදව් වලට බොහෝම ස්තූතියි.

අන්තිමට කියන්න තියෙන්නේ අඳුනන, නාඳුනන, දුටු , නොදුටු යාළුවෝ හැමෝටම අනූ බොහොම ආදරෙයි.

අම්මාටයි අප්පචීටයි ගොඩාක් ආදරෙයි

අනූට ගෙදර යන්න, අම්මා අප්පච්චී එක්ක ඉස්සර වගේ කතා කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අම්මා නම් කෑගහනවා අනූට "මොකද්ද ළමයෝ ඔය ජීවිතේ කියලා".

අම්මයි අප්පච්චියි අනූ නිසා කල කැප කිරීම් එමටයි. අදටත් අනූට තියෙන වැඩ නිසා අම්මාටයි අප්පච්චීටයි විනෝද ගමනක්වත් යන්න විදියක් නැහැ. අනූ වගේම කියවන අයත් මේ වගේ කියලා අනූ හිතනවා. ඉස්සර වගේ නිතරම කිව්වේ නැතත් අනූ "අම්මාටයි අප්පචීටයි ගොඩාක් ආදරෙයි".

ආ මග..

අනූ දැන් තෙවන වසර ඉංජිනේරු ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නේ පරිඝනක විද්‍යාව හා ඉංජිනේරු අංශයේ. මේ දවස් වල නම් ඉන්නෙ තාක්ෂණික පුහුණුව සඳහා විශ්ව විද්‍යාලයෙන් බැහැර.

පුංචි කාලේ ගැන හිතන කොට නම් ගොඩක් සතුටුයි. මඟ ඇරුණු කතන්දර නම් බොහොමයි. මම ලිව්වේ මගේ සතුටටයි. ලිව්ව දේවල අර්ථයක් නැති වෙන්නත් පුලුවන්. එත් කියවන අයට තමන්ගේ පුංචි කාලේ මතක් පොඩ්ඩක් හරි මතක් වුනා නම් අනූ සාර්ථකයි.

අනූ හැමෝටම කියන්නේ ආ මග අමතක නොකර හොඳින් මතක තියා ගන්නයි. ජීවිතේ දුක හිතුන හැම වෙලාවෙම අතීතයේ මිහිරි මතක මතක් කර ගන්නයි. ඒ මතක අනූගේ වගේම හමෝගේම මලානික කර්යබහුල ජීවිතය වර්ණවත් කරාවි.

සැබෑවුන සිහිනය..

අන්තිමට අනූ අම්මාගෙයි අප්පච්චිගෙයි හීනයක් හැබෑ කලා. අනූ උසස් පෙල සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් ලැබුවා ඒ උසස් පෙළ ගණිත අංශයෙන් කරන ගොඩක් දෙනෙක්ගේ සිහින විශ්ව විද්‍යාලයට.කතාවට නම් කියන්නේ මෙහේ ඉන්නේ "සාරයෙත් සාරය" කියලා.

එදා අම්මාගෙයි අප්පච්චිගෙයි සතුට කියලා නිම කරන්න බැරි තරම්. අම්මා කවදාවත් අනූට කෑම නොදී පාසැල් යවලා නැහැ. අප්පච්චිත් අනූ රෑ නිදි වරාගෙන පාඩම් කරනකොට නිදාගෙන නැහැ. ඒ වෙනුවෙන් අනූට අම්ම්යි අප්පච්චියි සතුටු කරන්න ලැබුන එක ලොකු සතුටක්.

බොඳ වුනු හීනය..

අනූ උසස් පෙළට කරන විශය තෝරන එක ප්‍රශ්නයක් වුනා. අප්පච්චියි අම්මායි දෙන්නම කැමති වුනේ අනූ ජීව විද්‍යාව කරනවාට. ඒත් අන්තිමට දෙන්නම කැමති වුනා අනූගේ කැමත්තට.

අනූ ටිකක් කම්මැලියි පාඩම් කරන්න අනූගේ අම්මා බලෙන් වගේ තමයි අනූව පාඩම් කෙරෙව්වේ. අන්තිමට බැරිම තැන අම්මා අනූට කිව්වා "අම්මා අප්පච්චි වෙනුවෙන් පාඩම් කරන්න" කියලා. ඒක නම් අනූගේ හිතට තදින්ම වැදුනා.

ඒත් ප්‍රතිඵල ආවාම තමයි අනූට තේරුනේ එයා ගැන හැමෝම බලාපොරොත්තු තියාගෙන හිටි බව. ජීවිතේ පළමුවෙනි පාරට අනූට එයාගේ ඉලක්කය වෙත යන්න බැරිවුනා. එත් අනූ සැලුනේ නැහැ.

අප්පච්චී, විශ්ව විද්‍යාලය මොන වගේද?..

අනූගේ අප්පච්චී අනූ පුංචි කාලේ නිතරම අප්පච්චිගේ විශ්ව විද්‍යාලය ගැන විස්තර කියනවා. දවසක් පුංචි අනූ එක පාරටම ඇහුවා "අප්පච්චී, විශ්ව විද්‍යාලය මොන වගේද?" කියලා.

අප්පච්චි දුන්නු උත්තරේ තමයි "ඒක අමුතුම ලෝකයක්, ගිහිල්ලාම බලන්න ඔනේ" කියලා.

ඒ උත්තරේ අනූගේ හිතේ කාවැදිලයි තිබ්බේ. අනූ එදා හිතා ගත්තා කොහොම හරි විශ්ව විද්‍යාලට යනවා කියලා.
පුංචි ළමයි එක්ක වැඩ කරන්නේ බොහොම පරිස්සමෙන්. හිතේ දෙයක් කාවැදුනොත් ආයෙත් වෙනස් කරන්න බැහැ.

පුංචි ළමයි අයිති ගෙදරටයි..

අනූගේ අයියා අනූ පුංචි කාලේ ඉඳලාම ගෙදරින් පිටයි හැදුනේ. එයා ගෙදර ආවම අනූට එයා අමුත්තෙක් වගේ. අනූගේ අම්මලා එයාව ගෙදරින් පිට තිබ්බ එක ගැන දුක් නොවෙනවා නෙමෙයි. අනූට හිතා ගන්න බැහැ එයාට නේවාසිකාගාරයේ දිගටම ඉන්න වුනා නම් මොනවා වෙයිද කියලා. ආයියාත් නිවාඩුවට ඇවිත් යද්දි හොඳටම ඇඬුවා. එත් ගෙදර ඉඳලා එයගේ පාසලට යන්න වෙන ක්‍රමයක් තිබුනේ නැහැ.

අනූ නම් හිතන්නේ පුංචි ළමයි අයිති ගෙදරටයි කියලා. ගෙදරට වඩා වෙන තැනක් කොහේද? ඒකනේ ඒකට ගෙදර කියන්නේ.

නොගැලපීමේ ගැලපීම..

අනූගේ අම්මායි අප්පච්චියි හිතන විදිය එකිනෙකාට වඩා බොහොම වෙනස්. අම්මා අනූට බලෙන් කෑම කවනකොට අප්පච්චි කියනවා "ළමයින්ට බලෙන් කවන්න එපා මන්ද බුද්ධික වෙනවා" කියලා. අම්මා ලකුණු බලලා සැර කරන කොට අප්පච්චී "අහ්, හොඳයි" කියනවා. අනූගේ ලෝකය ප්‍රාණවත් කලේ ඒ දෙන්නගේ නොගැලපෙන සිතුවිලි නිසා.

අම්මා අප්පච්චි කියන ඒවා අහලා කෑම නොකවා හිටියා නම් අනූ ලෙඩෙක් වෙනවා. ඒ වගේම ලකුණු බලලා අනූව උනන්දු කලේ නැති වුනානම් අනූ ආපු ගමන කවදාවත් එන්න වෙන්නේ නැහැ.

අප්පච්චිගේ නීති ලිහිල් නොවුනා නම් අනූට හරිම කරදරයක් වෙන්නේ. එහෙම වුනා නම් අනූ සතුටින් ඉන්න ළමයෙක් වෙන්නේ නැහැ.

ඉතින් අනූ හිතන විදියට අම්මාගෙයි අප්පච්චිගෙයි සිතුවිලි නොගැල්පීම අනූට හරියටම ගැලපුනා.

අනූගේ අදිශ්ඨානය..

අනූ පන්තියේ වැඩ හොඳින් කලා. නැගීම් බැසීම් නොතිබුනාම නෙමෙයි. අට වසරේ ගුරුතුමී අනූගේ ප්‍රගති වර්තාවේ ලියලා තියෙනවා "ගණිතයට තව උනන්දුවන්න" කියලා. ඒක අනූට ලොකු අදිශ්ඨානයක් ගෙනාවා ජීවිතයට. අනූ සුපිරි දක්ෂයෙක් නෙමෙයි. උනන්දුවෙන් මහන්සි වෙලා වැඩ කල ළමයෙක්. පන්තියේ ගණිතයට තෑග්ග ගන්න කල්ම එයා නතර වුනේ නැහැ.

පඬි සංගමය

ඊට පස්සේ අනූට සිදුවුනා අලුත් පාසල් බස් රථයක යන්න. ගෙදර ඉඳන් පාසලට දුර කිලෝ මීටර 45 ක්. යන්න පැය 2කයි එන්න පැය 2කයි. හරියට විනෝද චාරිකාවක් යනවා වගේ.

අනූගේ වයසේම යාළුවෝ ගොඩක් හිටියා ඒ තමයි නර්මදා, චතුරිකා, තිලිණි, මනේකා සහ අමාලි. කට්ටිය සින්දු කිව්වා, කෑම කෑවා පාසල් බස් රථය තුලම.

මේ කට්ටිය හදාගත්තා සංගමයක් ඒක තමයි පඬි සංගමය. අනූ තමයි හරිපණ්ඩිත. මාසෙකට සැරයක් ලොකු සාදයක් දාලා පොතක් දොරට වඩිනවා. සංගමයේ පණ්ඩිතයෙක් තමයි පොත ලියන්නේ. තව බෝනික්කන්ගේ මඟුල් ගෙවල් පැවැත්වුවා. මනේකා ලිව්වා පත්තරයක් එකේ නම "විස්තරේ". ප්‍රශ්න වලට හරියට උත්තර දෙන අයට තෑගිත් ලැබුනා. ඒ නිසා අනිත් පණ්ඩිතයෝ බලාගෙන හිටියේ හැම සඳුඳාම මනේකා (බකපණ්ඩිත) පාසල් බස් රථයට ගොඩ වෙන කල්.

නේවසිකගාරයෙන් සමු ගැනීම..

නේවාසිකගාරයේ යහළුවන් එක්ක අනූ හවසට සෙල්ලම් කලා. විවිධ ප්‍රසංගයකුත් පැවැත්වූවා. අම්මයි අප්පච්චියි දෙන්නම හැම සෙනසුරාදාම අනූව බලන්නත් අවා. ඒත් අනූට ගෙදර යන්න අවසර තිබ්බේ දිග සති අන්ත තිබ්බොත් විතරයි. ඒ නිසා අනූට කලාතුරකින් තමයි ගෙදර යන්න පුලුවන් වුනේ. අය්යාත් දිගටම ලියුම් එව්වා.

වැඩි කාලයක් අනූ හිටියෙ අසනීප වෙලා ගෙදර. එක වාර විභාගයකුත් ම්ඟ ඇරුණා. ගෙදර ඉඳලා නේවාසිකාගාරයට එන දවසට ගෙදර එකම යුද්ධයක්. අන්තිමට නේවසිකගාරයටම ඇවිත් ඉන්න බැහැ කියලා හොඳටම ඇඬුවාම අප්පච්චි කිව්වා ආපහු ගෙදර යමු කියලා.

එදායින් පස්සේ අනූ කවදාවත් ගෙදරින් පිට හිටියේ නැහැ.

නේවාසිකාගාරයේ මුල් දින..

ගෙදර ඉඳලා පාසලට දුර වැඩි නිසා අනූට නේවාසිකාගාරයේ නතර වෙන්න සිද්ද වුනා. අම්මාටයි අප්පච්චිටයි හරිම පාලුයි අනූ නැතිව. අනූටත් එහෙමයි.

පුංචි අනූ තනියම වැඩ කරන්නත් ඉගෙන ගත්තා. රෙදි සෝදන්න, අතු ගාන්න තව ගොඩක් දේවල්.

නේවාසිකාගාරයේ හොල්මනක් තියෙන බවට හැමොම කතා වෙනවා. ඒ තමයි ශොක්මන්ගේ හොල්මන. නේවසිකගාරය දැන් තියෙන තැන කලින් තිබිලා තියෙන්නේ ශොක්මන්ගේ වළව්ව. ඉතින් රෑට ශොක්මන් අස්සයා පිටේ යනවා කියලා ළමයි හැමෝම කියන්න පටන් ගත්තා.

රෑ නමයට හැමෝම නින්දට යනවා. අනූට ඒත් නින්ද ගියේ නැහැ. ඒක පාරටම අනූට ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. අනූ එලිවෙන කල්ම ඇස් ඇරියේ නම් නැහැ.

පස්සේ දැනගත්තේ ඒක ලොකු පන්තිවල අක්කලා හිතා මතාම කල දෙයක් කියලා.

අලුත් පාසල..

අනූගේ අලුත්ම පාසල තමයි මලියදේව බාලිකාව. ප්‍රධාන ගේට්ටුවෙන් අතුළු වෙලා ඇතුලට යනකොට අනූට දැනුන සතුට කියලා නිම කරන්න බැහැ.

අනූ ඉස්සරහට හම්බවෙන හැමෝ එක්කම හිනා වුනා. අනූ කොහොමත් හිනාවනම් අඩුවක් නැතිව බෙදා ගන්න ළමයෙක්. අනූව වැටුනේ දේවී නිවාසයට.

අනූ කහ පාට පහනක් ඇති කොල පාට ටයි පටිය දාලා පාසල් ගියේ බොහෝම ආඩම්බරයෙන්.

පන්තියේ මේස පුටු අලුත් ළමයින්ට ඉඳගන්න ප්‍රමාණවත් වුනේ නැහැ.අනූ පන්තියේ ළමයෙක් එක්ක මඟදී හිනා වෙලා තිබ්බා. ඒ ළමයා ඒ ගැන පන්තියට ඇවිත් කියලා තිබ්බේ නාන්නාදුනන කෙනෙක් එක්ක හිනා වෙන එක අමුතු දෙයක් වුන නිසා. ඒ නිසා අනූ පන්තියට ආවම හැමෝම කැමති වුනා අනූ එක්ක මේසය පුටුව බෙදා ගන්න.

අනූට හරිම සතුටුයි.

හොඳම තෑග්ග..

ඉතින් අනූ පහ වසරටත් ගියා.

පහ වසර තමයි භයානකම පන්තිය.ඉස්කොලේ ඉවර වෙලා හවසත් පන්ති. ඒ මදිවට අනූට ඉරිදටත් පන්තියකට යන්න වුනා. අම්මාටත් හරිම කරදරේ අනූව එක්කගෙන යන්න ඕනනේ. ඉරිදා පන්තියේ නම් සෙල්ලම් කරන්න ගොඩක් වෙලා දුන්නා. ඒකටත් එක්ක ඉස්කෝලේ. ක්‍රීඩා වලට තිබ්බ වෙලාවත් වෙන වැඩවලට ගත්තා.අනූට හරිම කරදරයි.

කොහොම හරි අනූ ශිෂ්‍යත්ව විභාගයටත් පෙනී සිටියා. ලකුණු ගත්ත ගාන නම් හොඳටම මදි කියලා අම්මා සහ ගුරුතුමී දෙන්නම කිව්වා. අප්පච්චිනම් කිව්වේ බොහොම හොඳයි කියලා විතරයි.

අම්මාගෙන් අනූට තෑග්ගකුත් හම්බවුනා. අම්මාගෙන් විතරක් නෙමෙයි තව ගොඩක් අයගෙන් තෑගි ලැබුනා. අනූට ලැබුනු හොඳම තෑග්ග තමයි නගරයේ හොඳ බාලිකාවකට අතුල් වීමේ අවස්ථාව.

මොකද ඒ පාසල අනූගේ මුලු ලෝකයම වෙනස් කල නිසා.

පුස් ඌරා..

අනූගේ පන්තියේ හිටියා පොඩි පිරිමි ලමයෙක්. හරිම මහතයි. හැමොම කිව්වේ පුස් ඌරා කියලා. මේ පුස් ඌරා නම් හරිම සැරයි. එයාට අනිත් අයට වඩා ලකුණු අඩු වුනාම කෑගහලා අඬනවා. පන්තියේ ගුරුතුමීත් බයයි මේ ඇඬිල්ලට.

ඉතින් එකම එක වතාවක් අනූට පුස් ඌරාට වඩා ලකුණු වැඩි වුනා පළමුවැනියා වෙන්න. ඒත් ඉතින් සිංහල ප්‍රශ්න පත්‍රයට විතරයි. පුස් ඌරා අනූගේ ප්‍රශ්න පත්‍රය ගුරුතුමී ළඟට අරගෙන ගියා අනූ එක්කම. අනූ බලාගෙන ඉද්දි ගුරුතුමී අනූගේ ලකුණු අඩු කලා රචනාවට.

අනූට හරිම දුකයි. අම්මාට කියලා ප්‍රගති වාර්තාව අත්සන් කර ගන්න තිබ්බ අවස්ථාව මඟ හැරුනට.

අනූගේ ප්‍රගති වාර්තාව..

ඔහොම අනූ හතර වසරටත් ගියා. තුනේ පන්තියේදි ලකුණු බලලා තමයි හතරෙදි පන්ති වලට දැම්මේ. අනූව හොඳම පන්තියට තේරුනා.

ඊට පස්සේ තමයි ලොකුම කරදරය වුනේ. මෙච්චර කල්ම අනූ පන්තියේ හැමදාම පළවෙනියා. ඒත් හතරට ගියා විතරයි නව වෙනියා. අම්මාට හොඳටම කෙන්තියි. අම්මා ප්‍රගති වාර්තාව අත්සන් කලෙත් නැහැ. අන්තිමට අප්පච්චි අනූට ප්‍රගති වාර්තාව අත්සන් කරලා දුන්නා.

ඊට පස්සේ හැම දාම ප්‍රගති වාර්තාව අත්සන් කරන්න වුනේ අප්පච්චිටම තමයි :)

මහා වැසි ක්‍රිකට් තරඟය..

අනූ සහ නෑදෑ සහෝදර පිරිස දවසක් ක්‍රිකට් සෙල්ලම් කලා. ගොඩක්ම පුංචි කාලේ අනූව අය්යලා සෙල්ලම් කරන්න ගත්තේ නැහැ. අනූගෙන් කරදර ගොඩක් වෙන නිසා. ලොකුම කරදරය තමයි බෝලය ආපහු නොදීම.

ක්‍රිකට් ගහන අතරේ හොඳටම වැස්ස. කවුරුත් කැමති වුනේ නැහැ සෙල්ලම නතර කරන්න. වැස්සේම සෙල්ලම් කලා.

පහුවෙනිදා කට්ටියවම වෑන් එකක දාගෙන අරගෙන ගියා බෙහෙත් ගන්න.

ඔය අතරේ බෙහෙත් නොබීපු අයයි, වෙන අයගෙත් බෙහෙත් බීපු අයත් හිටියා.

අක්කාගේ දුර පැනීම..

පුංචි අම්මාගේ මඟුල් ගෙදරට මල් හොයන්න අනූත් ගියා අක්කලත් එක්ක.

එක ගෙදරකට ගියා විතරයි ලොකූ දඩෝරියෙක් ආවා බුරාගෙන. ඌ දිනූෂා අක්කා පස්සෙන් දිගටම පැන්නුවා. අක්කා පුදුම වේගෙකින් දිව්වේ. දිව්වා විතරක් නෙමෙයි එයා කට බැන්දලා නැති පටු ළිඳක් උඩිනුත් පැන්නේ බලා ගෙන හිරි අය හිරි වට්ටවමින්.

එයා පැන්නේ ළිදක් උඩින් කියල එයා පස්සෙයි දැන් ගත්තේ.

ජය මංගල ගාථා කීම

පුංචි අම්මාගේ මඟුල් ගෙදර අනූටයි අක්කලාටයි පැවරුණු තවත් රාජකාරියක් තිබ්බා. ඒ තමයි ජය මංගල ගාථා කීම.

පුංචි අම්මායි අනූලට පුරුදු කලේ. එත් කට්ටිය එකතුවුනාම සෙල්ලමටමනේ හිත. ඒ නිසා ගාථා දෙකකට වඩා හරියට පඩම් නැහැ. කැසට් පටයත් එක්ක හතරක් විතර යනකල් කියන්න පුලුවන්.

අන්තිමට මඟුල් දවස එළඹුනා. පුංචි අම්මා මනමාලිය වෙලා පොරුවේ. අනූලාට ගාථා කියන්න වෙලාවත් අවා. කැසට් පටය ගියාට කියන්න කවුරුත් දන්නේ නැහැ.අන්තිමට කැසට් පටිය නතර කලා. පුංචි අම්මා පොරුවේ හිඳ ගාථා මතක් කලා. දන්න ගාථා දෙක පොරුවෙන් බහින කල් එක දිගට කිව්වා.

අනූලට නම් හරිම විහිළුයි. ඒත් පුංචි අම්මාට දුක හිතුනද දන්නේ නැහැ.

පුංචි අම්මාගේ මඟුල් පින්තූරය..

අනූගේ පුංචි අම්මාගේ මඟුල් ගෙදරත් අවා. පුංචි අනූයි අක්කලා දෙන්නායි තමයි මල් කුමාරියෝ. ලස්සන ගවුමකුත් මහලා තිබ්බා මල් කුමාරිට අඳින්න.

පින්තූරේ ගන්න ගියාම තමයි හරි වැඩේ වුනේ. පින්තූර ගන්න මාමා කිව්වා අනූට ඇස් පිල්ලම් ගහන්න එපා කියලා. එත් ඇස් පිල්ලම් ගහන්නේ නැතිව ඉන්නේ කොහොමද?

අන්තිමට අම්මා අනූව පින්තූරේ ගන්න තැනින් එලියට එක්කගෙන ගියා. මඟුල් පින්තූරේ ආවාම තමයි අනූ දැක්කේ එයා ඒකේ නැති බව.

කතරගම ගමන..

සීයාගේ දානෙන් පස්සේ හැමෝම යන්නේ කතරගම. ඒ හිඟන්නන්ට දානයක් දෙන්න.

කතරගම යද්දී ඒ දවස් වල කට්ටියම ගියේ ලොරියේ. වෑන් එකක් පස්සෙන් එනවා ලොරිය යන්න බැරි ලෙඩ්ඩු අරගෙන.
කට්ටියම රෑට මැණික් ගඟෙන් නාලා තමයි පූජාවට යන්නේ. අනූ කැමතිම ගමනක් තමයි කතරගම යන එක.

උදේට කෑම උයලා දානේ දෙනවා. අච්චී රුපියලේ කාසි තමයි හිඟන්නන්ට දුන්නේ. එයාලා ඒ කාසි අරන් බලන්නේ අච්චිට බැන බැන.

සිරිපාලයි ගුණපාලයි..

කත්ළුවේ සීයාගේ දානෙට යන්න හැමෝම ඉන්නේ දවස් ගැන ගැන. කට්ටියම අවුරුද්දකට සැරයක් එකතු වෙන්නේ එදාටනේ.

කොහොම හරි නාට්‍යයකට සෙනඟ ඉන්නවා එදාට. පොඩි ළමයි කට්ටිය එකතු වෙලා නාට්‍යයක් කලා එක පාරක්. නාට්‍යය තමයි "සිරිපාලයි ගුණපාලයි". අනූගේ අය්යා තමයි අධ්‍යක්ෂක.

අනූත් අඬලා අඬලා චරිතයක් ඉල්ලා ගත්තා. එකේත් දෙබස් නැහැ.සිරිපාල ගෙදර සීනි නැති තැන ගෙදරට එන අමුත්තට ලුනු දාලයි තේ හදන්නේ. අනූ තමයි අමුත්තා.

කොහොමහරි ඇවිල්ලා හිටිය කට්ටියට ටිකට් ගහලත් විකිනුවා.කඳුලු එනකල් හැමෝම හිනා වුනා හරිම විනෝදයි.

මල්ලිගේ දත් ගිලීම..

සීයාගේ දානෙන් පස්සේ හැමෝම යනවා මුහුදේ නාන්න.

අනූ වැඩියෙන්ම සෙල්ලම් කලේ මල්ලිලා දෙන්නත් එක්ක.අක්කලා දෙන්නගේ සෙල්ලම් වලට අනූ කැමති වුනේ නැහැ.

දවසක් දක්ෂිණ මල්ලිගේ දතක් තිබ්බා වැටෙන්න. කට්ටිය මුහුදට ගිහින් නාලා, සෙල්ලම් කරලා හොඳටම සීතල බීම බෝතලයක් බිව්වා. ටික වෙලාවකින් අනූ දැක්කා මල්ලිගේ කටින් ලේ එනවා. දත තිබ්බෙත් නැහැ. මල්ලි දත ගලවලා විසිකරලත් නැහැ. වූණායැයි සිතිය හැකි එකම දේ තමයි දත ගිලීම.

කොහොම හරි අපේ මල්ලිගේ නම ප්‍රසිද්ද වුනා දත් ගිල්ලෙක් විදියට.

ගාලු ගමන..

අනූගේ අම්මාගේ ගම තමයි ගාල්ල. ඉතින් කට්ටියම නිවාඩුවට ගමේ යනවා අච්චී බලන්න.
අනූ තාත්තම්මාට තරම් අච්චීට ආදරේ වුනේ නම් නැහැ.

එත් ගාලු යන ගමන නම් හරිම විනෝදයි. බස් එකේ මුහුද පෙනෙන පැත්තේ ඉඳ ගන්න තමයි අනූට ඕනේ. ටික දුරක් මුහුද බලා ගෙන යන කොට පටන් ගන්නවා සින්දුව "මුහුද හරි ලොකුයි.." ඊට පස්සේ දන්න සින්දු ඔක්කොම කියලා තමයි නතර කරන්නේ.

අයියාට ගොඩක් වෙලාවට වෙනත් ආසනයක ඉඳ ගන්න වෙනවා අනූ අම්මායි, අප්පච්චීයි ළඟ යන නිසා.එයා ඉතින් අනූ සින්දු කියන කොට ඔරවනවා. පව් අයියා.

ඒ දවස් වල නම් ගාලු යනකොට පේනව මුහුදේ රිටක් උඩ නැගලා මාළු අල්ලානවා. අනූ හරිම කැමතියි සීනි ගම දේවාලයේ දර්ශනයටත්.

අනූගේ තතු..

අනූ යාළුවන්ගෙන් ඉස්සරලාම ඉගෙන ගත්තේ හින්දි ච්ත්‍ර පටි බලන්න. අප්පච්චිත් හින්දි චිත්‍ර පටි බලන්න බොහොම කැමතියි. අනූ කැමතිම නළුවා වුනේ සල්මන් ඛාන්. එයාට කැමති වෙන යාළුවෙක් පන්තියේ හිටියේ නැහැ. අනිත් හැමෝම කැමති අමීර්ට.

උපේක්ෂා දවසක් අනූලගේ ගෙදර නතර වෙන්නත් ආවා. දෙන්නම පාසල් ගියේ, කෑවෙ බිව්වේ එකට. කට්ටියම පාසලේ විවිධ ප්‍රසංගයට නැටුමකුත් ඉදිරිපත් කලා. මේ අතරේ අප්පච්චී ගෙනා පොත් වලින් අනූගේ පොත් රාක්කයත් පිරුණා. අනූ කැමති වුන තවත් පොතක් තමයි "වැඩ බැරි දාස".

අනූ කැමතිම පන්තිය..

අනූ ගොඩක්ම කැමති පන්තිය තමයි තුන්වෙනි පන්තිය. පන්තිභාර ගුරුතුමීව හිටියේ සුමනා ටීච.

ඒ පන්තියේදි අනූට ගොඩක් යාලුවො මුණගැහුනා. ඒ අයගෙන් ටිකක් තමයි උපේක්ෂා, විශ්වා, වරුණි. සුමනා ටීච කට්ටියවම එක්කගෙන ගියා වෙනැත් පාසලකටත්. තව පාසලෙන් විනෝද චාරිකවකුත් ගියා පන්ඩුවස්නුවරට.

අනූ උපෙක්ෂාගේ ගෙදරත් ගියා අම්මයි අප්පච්චි එක්ක. අනූට තාමත් මතකයි උපෙක්ෂා තමයි අනූගේ හොඳම යාළුවා.

අනූ තමයි පළවෙනියා..

අනූ පන්තියේ පළවෙනියා. පන්තියේ පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි ස්ථාන වලට ප්‍රගති වාර්තාව දුන්නේ විදුහල්පති තුමා අතින් සඳුඳා රැස්වීමේදී.

යකඩ කටින් අනූගේ නම ඇහෙද්දී අනූව ගුරුතුමී වේදිකාවට එක්කගෙන ගියා. ගුරුතුමී කීවා විදුහල්පති තුමාට වඳින්න කියලා. ඉතින් අනූ විදුහල්පති තුමාට වැන්ඳා.

කෝ තාම විදුහල්පති තුමා හිස අත ගෑවේ නැහැනේ. අනූ දිගටම වැඳගෙන හිටියා. හදිස්සියෙම ගුරුතුමීට මතක් වෙලා විදුහල්පති තුමාට කිව්වා අනූගේ හිස අත ගාන්න කියලා.

ඔන්න විදුහල්පති තුමා හිස අත ගෑවයින් පස්සේ තමයි අනූ ප්‍රගති වාර්තාවත් අරගෙන වේදිකවෙන් බැස්සේ.

එකේ පන්තිය..

ඉස්කෝලේ නම් අනූට හිතට අල්ලලා ගියා. පන්තිභාර ගුරුතුමීව හිටිය පද්මා ටීච අනූට හරිම ආදරෙයි.

හැබැයි අකුරු ලියන්නේ අකුරේ කෑල්ල කෑල්ල. මේක නම් අනූට මහා කම්මැලි වැඩක් වුනා. එයාට අප්පච්චි කලින්ම අකුරු ඉගැන්නුවානේ.

එත් පන්තියේ ඉන්න එක හරිම විනෝදයි. අනූ එයාගේ ළඟ හිටිය යාළුවන්ට අකුරු ලියන්නත් උදව් කලා. පන්තියේ හැමදාම අඬන ළමයිනුත් හිටියා.

අනූ සෙල්ලමට නම් එච්චර දක්ෂ ළමයෙක් නෙවෙයි. එයාගේ වැඩි කැමත්ත අකුරු ලියන්න, චිත්‍ර අඳින්න සහ සින්දු කියන්නයි.
මේ නිසා ගුරුතුමී අනූගේ අම්මාට පැමිනිල්ලකුත් කලා අනූ සෙල්ලම් කරන්න එන්නෙ නැහැ කියලා.

අනූ අයෙත් පාසල් යයි..

අනූව අත්තටම ඉස්කොලේ යවන්න කාලය උදාවුනා. අම්මා නම් හරිම බයෙන් හිටියෙ අනූ අයෙමත් ගෙදර නවතියි කියලා.

අනූට යන්න වුනේ නගරයේ පාසලකට. ආයෙමත් පාසල් වෑන් රථයේ නැගිලා පරණ යාළුවොත් එක්ක. නර්මදා නම් එවෙන විටත් හිටියේ ඉදිරි පෙලේමයි.

මුලින්ම ඉස්කොලේ ගිය දවසේ ගුරුතුමී අනූට හෝඩි පොත කියෙව්වා. ඊට පස්සේ අනූ ගුරුතුමීට බුලත් දීලා වැන්දා. පන්තියනම් හරිම ලස්සනයි. එත් අනූට වුන කරදර වල හැටියට කවුද දන්නේ ඉන්න යාළුවෝ මොන වගේද කියලා.

අම්මා අනූව පන්තියටම ගිහිල්ලා ගුරුතුමීට භාර දීලා එද්දී අනූට අපහු ගෙදර යන්න නොහිතුනාම නෙමෙයි. එත් එයා "ජින්සෙන් කුමාරි" වගේ නිර්භීත වුනා.

ජින්සෙන් කුමාරි..

අනූ පොත් කියවන්න හරිම කැමතියි. අනූට අප්පච්චී මුලින්ම ගෙනැත් දුන්න කත්න්දර පොත තමයි "ජින්සෙන් කුමාරි".

ඒක ජපන් කතන්දර පොතක්. ලොකු පින්තූර තියෙන පින්තූරේ යට පුංචි අකුරින් කතාව ලියලා තියෙන පොතක්. අනූට ඒක තෑගි ලැබුනු කාලේ අනූ අකුරු කියවන්නවත් දන්නේ නැහැ. ඉතින් අනූ ඒක අරගෙන හැමොම ලඟට යනවා කතාව කියවා ගන්න.

හැබැයි තාත්තම්මා විතරක් එක එක දවසට එක එක කතන්දර කියනවා. ඊට පස්සේ තමයි අනූ දැන ගත්තේ තාත්තම්මාටත් එයාට වගේම අකුරු බැරි බව.

පස්සේ අනූටත් පුලුවන් වුනා පින්තූරේ බලාගෙන කතන්දරය හරියටම කියන්න.

අනූ පුංචි කාලේ හීන මැව්වේ "ජින්සෙන් කුමාරි" වගේ වෙලා හැමෝටම උදව් කරන වීරවරියක් වෙන්නයි.

කොහොම හරි අනූ කොයි වෙලාවෙත් මේ පොතම අරගෙන ඇවිදින නිසා හැමෝම අනූට "ජින්සෙන් කුමාරි" කියන්න පටන් ගත්තා.

නතර වූ පාසල් ගමනින් පසු ...

කොහොම හරි අනූගේ පෙර පාසල් ගමන් වගේම අප්පච්චි සමඟ පාසල් ගමනත් නතර වුනා. අම්මාට නම් හරිම කේන්තියි.අප්පච්ච් නම් ඒ ගැන කලබල වුනේ නැහැ.

ඊට පස්සේ අම්මයි, අප්පච්චියි ඉස්කොලේ ගියාම අනූට ඉන්න වුනේ බාප්පලාගේ ගෙදර. එහේ තමයි තාත්තම්මාත් හිටියේ.

බාප්පා අනූට සෙල්ලම් ගෙවල් හදලා දුන්නා. ඒත් අනූට සෙල්ලම් කරන්න වුනේ බාප්පායි, තාත්තම්මායි එක්ක. අනූ තාත්තම්මාට කොන්ඩා මෝස්තර දැම්මා. තව තාත්තම්මාට අකුරුත් කියලා දුන්නා. තාත්තම්මා අනූට කවි කියලා දුන්නා වගේම රසට කෑමත් හදලා දුන්නා.

ඉතින් අනූ පාසල් යන්න කම්මැලිවෙන එක පුදුමයක් නෙවෙයි නේ.

පිහිදනවා සාදුගේ සාරියෙන් අත..

අප්පච්චිගේ පාසලේ හිටියා හාමුදුරු නමක්. අනූ වැඩිය හාමුදුරුවන්ට කැමති වුනේ නැහැ. ඒ එයාගේ අමුතු ඇඳුම නිසා නම් නෙමෙයි අනූට නිතරම විහිළු කරන නිසා.

දවසක් අනූ දවල්ට කාලා අත සෝදන්න යනකොට හාමුදුරුවො අනූට විහිළු කලා. අනූට හරියට කේන්තියි. හොඳටම කේන්ති ගිය අනූ එක පාරටම කිව්වා

පිහිදනවා සාදුගේ සාරියෙන් අත..
කියලා. හැමෝටම හිනා.

අප්පච්චි පස්සේ කියලා දුන්නා ඒක සාරිය නෙමෙයි ඒකට කියන්නේ "සිවුර" කියලා.

Saturday, April 24, 2010

අනූගේ පාසල් ගමන..

මුල් ගුරුතුමී අනූව එක්කගෙන ගියා එකේ පන්තියට. අනූව භාර කලා එහි හිටිය ගුරුතුමීට. අනූ බොහොම සතුටින් තමයි ඒ පන්තියට ගියේ. මොකද එක පාරටම අනූගේ ඉස්කෝලෙ යන සිහිනය සැබෑ වුනානේ.

පෙර පාසල් යන වයසේ වුනාට අනූට හොඳට අකුරු ලියන්න පුළුවනි. ඒ නිසා ටික දවසකින් දෙකේ පන්තියට දැම්මා. දෙකේ පන්තියේ වැඩ නම් ටිකක් අමාරුයි. එත් අනූ හරිම ආඩම්බරෙන් තමයි දෙකේ පන්තියේ හිටියේ.

අනූ අප්පච්චි එක්ක බොහොම සතුටින් ඉස්කොලේ ගියා දෙකේ පන්තියේ ළමයෙක් එක්ක රණ්ඩු කර ගන්නකල්ම. ඇත්තමයි කියන්නේ ඒ ළමයා අනූට ගැහුවේ අනූ මොනවත් හිරි හැරයක් කරලා නෙමෙයි.

එයින් අනූගේ අප්පච්චී සමඟ පාසල් ගමනත් නැවතුනා..

අප්පච්චිගේ ඉස්කෝලේ..

පාසල් නොගිය දවසට අනූ අප්පච්චි එක්ක බයිසිකලේ නැඟලා ඉස්කෝලේ ගියා. අනූ හරිම කමතියි අප්පච්චි එක්ක ඉස්කොලේ යන්න. ඒ පාසලේ උගන්වන නැන්දලා මාමාලා අනූට හරිම ආදරේ නිසා. ච්ත්‍ර ගුරුතුමා, නිමල් මාමා අනූට ලස්සනට චිත්‍ර ඇන්ඳලා දුන්නා.මුල් ගුරුතුමීව හිටි නැන්දා අනූට ආපනශාලාවෙන් කෑම බීම අරන් දුන්නා. ඉතින් අනූ අකමතිවෙයිද ඉස්කෝලෙට?

පස්සේ අනූගේ පෙර පාසල් ගමන නතර වෙලා අප්පච්චී එක්ක ඉස්කොලේ යන්න පටන් ගත්තා. බලමු ඒ කොච්චර කාලෙකටද කියලා.

හොර ලෙඩ..

කොහොම හරි මේ සිද්ධි වලින් වුනේ අනූ පෙර පාසල් යන්න කම්මැලි වුන එක.

ඊට පස්සෙ උදේට ගෙදර එකම යුද්දයයි. අනූව අම්මා පෙර පාසල් නොයැව්වේ අසනීප වුන දවසට විතරයි. ඉතින් පස්සෙ පස්සේ අනූ උදේට හැමදාම ලෙඩ කියන්න පටන් ගත්තා. අම්මා නම් මේවාට රැවටුනේ නැහැ. එත් අප්පච්චී නම් අනූට තියෙන ආදරේ වැඩි කමට අනූ අඬනකොට වෑන් රථයෙන් බස්සගෙන ආපහු ගෙදර එක්කගෙන ආවා.

අම්මයි අප්පච්චියි දෙන්නම පාසල් යන නිසා එයාලට හරිම කරදරයක් අනූව පෙර පාසල් නොයන එක. ඒත් අප්පච්චී ඒ කරදරය භාර ගත්තා. ඒකනේ අනූ කිව්වේ අප්පච්චිට හරිම ආදරෙයි කියලා..

චණ්ඩි අනූ..

අනූගේ යාළුවා නර්මදා නම් ටිකක් සැරයි. එයා නිතරම පාසල් බස් රථයේ ළමයි එක්ක රණ්ඩු කළා.

නර්මදා දවසක් අනූගේ කොණ්ඩා කටුව ගලවලා බස් රථයෙන් එළියට විසිකළා. අනූට හරිම කේන්තියි. අනූත් නිකන් හිටියෙ නැහැ. දුන්නා පාරක් නර්මදාට. පාර කොච්චර සැරද කිව්වොත් නර්මදාත් කෑගහගෙනම ආ පිට ගැහුවා පාරක් අනූට.

රණ්ඩුව කොච්චර දරුණුද කිව්වොත් පහුවෙනිදා නර්මදාගේ අම්මා ඇවිත් පැමිණිළි කලා වෑන් මාමාට. අනූ නම් මේ ගැන ගෙදර ගිහින් කිව්වෙ නැහැ. අන්තිමට වෑන් මාමා නර්මදාව ගත්තා මාමා ළඟම ආසනයට.

ඊට පස්සේ මහීමායි, අනූයි විතරයි පිටුපසම අසුනේ ගියේ.

පාසල් බස් රථයේ ගමන..

පාසල් බස් රථයේ අනූ, නර්මදා සහ මහීමා ඉඳගත්තේ පිටු පසම ආසනයේ. පොළ දවසට එයාලට පොළ බලන්න පුලුවන් හරිම අපූරුවට. හරියට නැරඹුම් මැදිරියක ඉන්නවා වගේ.

අනිත් අයියලා අක්කලාට පාසල් ඇරෙනකල් පෙර පාසල් ළමයිට බස් රථයට වෙලා ඉන්න වුනා. ඒක හරිම කම්මැලි වැඩක්. එත් කට්ටිය සිංදු කිව්වා, සෙල්ලම් කලා.

පාසල් බස් රථයේ ගමන හරිම විනෝද එකක් වුනා යාළුවෝ රණ්ඩු නොවී ඉන්න කල්ම..

පෙර පාසල් ගමනක නිමාව...

දවසක් මහීමා අසනීප වෙලා එයාට පෙර පාසල් එන්න බැරි වුනා. එදා අනූට හරිම පාළුයි.

පෙර පාසලේ යාළුවෙක් ගෙදර යන්න ඉල්ලලා අඬන්න පටන්ගත්තා. ඒකට ගුරුතුමීට හොඳටම කේන්තියි. ළමයාව සනසාගන්න බැරි වුන තැන ගුරුතුමී වේවැලෙන් පහරක් ගැහුවා. වේවැල් පහර සද්දෙට මුළු පෙර පාසලම නිහඬ වුනා. ඒ අනූ වේවැලක් දැක්ක පළමුවැනි වතාව. අම්මා අනූට කේන්ති ගිය වෙලාවට හනසු ඉරු වලින් ගහලා නොතිබ්බාම නෙමෙයි.

එදා තමයි අනූ කැමත්තෙන් පෙර පාසල් යන්න අවදිවුන අන්තිම දවස..

පෙර පාසලේ ක්‍රීඩා උත්සවය..

මෙහෙම ටිකෙන් ටික කාලය ගත වුනා. අනූ පෙර පාසලේ ක්‍රීඩා උත්සවයටත් සහභාගි වුනා. අනූට එදා අඳින්න වුනේ රතු පාට නිල ඇඳුමක්. ඒ අනූගේ නිවාසයේ පාට රතු නිසා.

විකට ඇඳුම් තරඟයටත් හිටියා.ඒ අරාබි කාන්තාවකට. ඒ ඇඳුම නම් ටිකක් කරදරයක්.ඇවිදිනකොට බිම ගෑවෙනවා.

සංගීත පැදුරු තරඟෙට හිටියාට ඉක්මනටම අයින් වෙන්න වුනා. සීනි බෝල ඇහිඳීමත් ඒ වගේම තමයි. එකම එකයි ඇහිලුවේ.

ක්‍රීඩා උත්සවය අනූට අමුතුම අත්දැකීමක්. එයා ඒකට බොහෝම කැමති වුනා.

පෙර පාසල් විත්ති..

අනූගේ එක්ක පෙර පාසල් ගිය තවත් යාළුවො දෙන්නෙක් හිටියා. ඒ තමයි නර්මදා සහ මහීමා. මහීමා පෙර පාසලෙත් අනූ ළඟමයි ඉඳ ගත්තේ. පෙර පාසල් යන කල්ම අනූ තවත් යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න නම් දැනන් හිටියෙ නැහැ. එත් අනූ ටිකෙන් ටික යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න පුරුදු වුනා.

පෙර පාසලේ අකුරු ඉගැන්නුවේ නම් නැහැ. එත් අනූ නටන්න, සිංදු කියන්න ඉගෙන ගත්තා. යාළුවෝ එක්ක අත්වැඩ, චිත්‍ර කලා. ඒක හරිම විනෝදයි.

පුංචි සුර දූතිකාව..

කන්‍යා සහෝදරිය අනූව බොහොම ආදරයෙන් පෙර පාසල වෙත පිළිගත්තා.

පෙර පාසලේ කෙලවරක ලොකුම ලොකු මාළු ටැංකියක් තිබුනා පාට පාට බොහොම සතුටින් පීනන මාළු පිරුණු. ළා නිල් පාට ආලේප කල මේස, බංකු වලින් පෙර පාසල පිරිලයි තිබ්බේ. ඒ වගේම ලස්සන චිත්‍ර, අත්වැඩ වලින් මුළු පෙර පාසලම සරසලා තිබ්බා. ගුරුතුමිය අනූට පෙන්නුවා එයාගේ මේසය සහ බංකුව.එයා එච්චර පුංචි ළමයි ගොඩක් දැක්ක පළවෙනි වතාව. අනූට හරිම සතුටුයි. දැන් එයත් සුර දූතිකාවක් නේ.

පෙර පාසලේ කතා..

අනූට නම් ඕනේ වුනේ අයියා වගේ ඉස්කොලේ යන්න.ඒත් ගෙදර ඉන්නවාට වඩා පෙර පාසල් යන එකට අනූ මුලින් කැමති වුනා.පෙර පාසලේ නම තමයි "සුර දූතිකා ළදරු පාසල".

ඒක කතෝලික පෙර පාසලක්. මුල් ගුරුතුමී කන්‍යා සහෝදරියක්.ඒ අනූ කන්‍යා සහෝදරියක් දැක්ක මුල්ම වතාව. අනූ බොහොම කැමති වුනා ඒ දිග ලෝගුවටත්..

පෙර පාසල් ගමන..

අනූ හැමදාම උදේට නැගිටලා අම්මාගෙන් අහනවා "අම්මා, මම ඉස්කොලේ යන්නේ කවදද?" කියලා. එයා පොඩි ළමයෙක් නිසා එයාට තේරුනේ නැහැ ඉස්කොලේ යන එක හරිම කරදර වැඩක් කියලා.

දවසක් අම්මා මේ ප්‍රශ්නේට උත්තර දුන්නා "ඒ අද තමයි කියලා". අනූට හරිම සතුටුයි. එයාට ලස්සන සුදු පාට හැට්ටෙකුයි, නිල් පාට සායකුයි අම්මා අතින්ම මහලා තිබ්බා පෙර පාසල් අඳින්න. අනූ හරියට අසා වුනා ඒ නිල ඇඳුමට.

ඊට පස්සේ අනූටත් පුලුවන් වුනා පාසල් වෑන් රථයේ නැගිලා පෙර පාසල් යන්න.

අයියා ගැනත් නොකියා බැහැනේ ...

අනූගේ අයියා අනූට වඩා අවුරුදු හයක්ම වැඩිමල්. අනූ ගොඩක් පොඩි නිසා එයා අනූව සෙල්ලම් කරන්න ගත්තේ නම් නැහැ.
එත් අනූට දවසක් හම්බවුනා අයියා අනූ ගැන ලිව්ව රචනාවක්. එකේ තිබ්බා එයා අනූට හරිම ආදරෙයි කියලා.

අනූගේ මුල්ම ගුරුතුමා..

අප්පච්චී ගැන්ත් කියන්නම ඕනෑනේ. අප්පච්චීත් පාසල් ගුරුවරයෙක්.

අප්පච්චී ගොඩක් හොඳට දනගෙන හිටියා සිංහල, ඉතිහාසය, භූගෝලය වගේ විශයන්. අප්පච්චි තමයි අනූට අකුරු ලියන්න, කියවන්න, ගනන් කරන්න ඉගැන්නුවේ.

අප්පච්චී අනූට තරු රටා, ගස් කොළ, සතා සිවුපාවා ගැන කියලා දුන්නා. හැමදාම අප්පච්චි පඩි ගත්ත දවසට අනූට කතන්දර පොතක් ගෙනාවා. අනූ ළඟ ලොකූ පොත් එකතුවක් තියෙනවා ඒ නිසා. අප්පච්චි තමයි අනූව ලියන්න, කියන්න දිරිමත් කලේ.
අදටත් අනූ හරියට සිංහලෙන් ලියන්නේ අප්පච්චිගේ මහන්සිය නිසායි.

අප්පච්චිටත් අනූ හරිම ආදරෙයි ඒ අප්පච්චි ගහක් වගේ අනූට හැමදාම හෙවන දුන්න නිසායි.

ආදර අම්මා...

අනූගේ අම්මා පාසල් ගුරුතුමියක්. අම්මා තමයි එදා මෙදා අනුගේ තනියට හැමදාම හිටියේ. අනූ නිසා අම්මා වින්ද කරදර නම් එමටයි.

අම්මාත් දැනන් හිටියේ අන්දරේගේ කතා විතරයි. ඉතින් කෑම කවන කොට අනූ කියනවා "අනේ! අම්මා අද නම් අන්දරේගේ කතාවක් එපා" කියලා. අම්මාට පොත් කියවන්න වුනා කතන්දර ඉගෙන ගන්න.

අනූගේ අම්මාට පුලුවනි රසට කෑම උයන්න, ලස්සන ඇඳුම් මහන්නත්. අම්මා අනූව සුරංගනවියක් වගේ ලස්සනට තිබ්බා වගේම අනූට උගන්නන්නත් ගොඩක් මහන්සි වුනා.

අනූත් හැම දෙයක්ම කලේ අම්මා වෙනුවෙන්, අම්මාට තියෙන අදරේ නිසායි. අනූට ඕනේ වුනේ අම්මා අනූ ගැන හිතලා සතුටු වෙනවා දකින්නයි. ඒ දවස කවදා හරි ඒන බව අනූ දැනන් හිටියා.

තාත්තම්මා ගැනයි මේ..

අනූගේ තාත්තම්මා අනූට ගොඩක් ආදරෙයි. තාත්තම්මා ගොඩක් කවි තේරවිලි එහෙම දැන ගෙන හිටියා. හැබැයි දැනගෙන හිටිය එකම කතන්දරය තමයි "සුද්දගෙයි සුද්දිගෙයි කතන්දරය". ඒක නම් හැමදාම අහලා අනූට එපා වෙලා තිබ්බේ.

අනූ තාත්තම්මාත් එක්ක පන්සල් ගියා. ඒවගේම සිල් ගත්තා. තාත්තම්මා තමයි අනූගේ හොඳම යාලුවා. අනූ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තාත්තම්මා ගෙන්. එත් එයාට අකුරු ලියන්න කියවන්න නම් බැහැ. පස්සෙ අකුරු කියවන්න අනූ ඉගෙන ගනිද්දි අනූ තමයි තාත්තම්මාගෙ ගුරුතුමී වුනෙත්.

අනූ තාත්තම්මාට තාමත් ආදරෙයි මොකද අනූගේ තාත්තම්මා තමයි මේ ලොකේ හොඳම තාත්තම්මා.

නැහැ බැරි වීම...

පුංචි කාලේ අනූට නොතේරුන වචනයක් තිබ්බා. ඒ තමයි "නැහැ". කවුරු කොහොම තේරුම් කලත් අනූට ඒක වටහා ගන්න බැරි වූනා.

එයාට "මාව්වො (මාළු) නැහැ" කිව්වොත් එයා "නැති මාව්වො" ඉල්ලනවා. මේක නිසා අනූට අදරේට හැමෝම කිව්වේ "නැති මාව්වා" කියලා.

අම්මා නම් කිව්වේ පෙර ආත්මේ "නැහැ" කියන එක ඇහිලා නැති නිසා වෙන්න ඇති කියලා. හැබැයි ටික ටික ලොකු වෙද්දි "නැහැ" කියන එක ඇහිලා ඇහිලිහම හොඳට තේරුම් ගත්තා ඒ මොකද්ද කියලා.

අනූගේ කතන්දරයයි මේ ...



ඔන්න එකමත් එක රටක හිටිය පුංචි ගෑණු ළමයෙක්. එයාගේ නම තමයි අනූ.

එයා වෙන කතන්දර වල ඉන්න පුංචි කුමාරිකවෝ තරම් ලස්සන නැති වුනත් බොහොම නිර්භීතයි වගේම බොහොම දක්ෂයි. එයා සෙල්ලමට නම් වැඩි කැමැත්තක් තිබ්බෙ නැහැ. හැබැයි ඉස්කෝලේ යන්නත් කලින්ම එයා අකුරු, ඉලක්කම් නම් දැනගෙන හිටියා.

අම්මා, අප්පච්චි, අයියා සහ තාත්තම්මා එක්ක පුංචි ගමක තමයි අනූ ජීවත් වුනේ. දැන් මම කියන්න යන්නේ ඒ පුංචි අනූගේ කතන්දරයයි...

Thursday, April 15, 2010

මමත් ඉන්නේ මැරතන් දුවන්න..

මමත් ඉන්නෙ මැරතන් දුවන්න...බලමු කොච්චට දුර යාවිද කියලා..